උතුරු මැද පළාත් විපක්ෂ මන්ත්‍රීවරු දෙකට බෙදිලා - අනිල් රත්නායක


( චතුරංග සදරැස්ගම )

උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා නියෝජනය කරන පිරිස අතර මේ වන විට අර්බුදයක් හටගෙන තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා පවසයි.

“ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විට උතුරුමැද පළාත් සභාව හරහා මේ ආණ්ඩුව පෙරලන්න මාර්ගයක් පාදා ගන්න පුළුවන්ද කියා මාන බලනවා. දැන් එය ඔවුන් බලාපොරොත්තු වූවට වඩා ගොඩාක් වෙනස් වෙලා. පසුගිය 15 වැනිදා දිවුරුම් ප්‍රකාශයක් භාර දීමට ගිය ඔවුන්ගේ කණ්ඩායමේ සුසිල් ගුණරත්න අද ක්‍රීඩා හා යෞවන කටයුතු, ප්‍රවාහන අමාත්‍ය වරයා ලෙස   දිවුරුම් දුන්නා “යැයි රත්නායක මහතා ප්‍රකාශ කරයි. 

අද (16) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීය

‘‘දැන් කියනවා සුසිල් ගුණරත්න මන්ත්‍රී වරයා මුදල් වලට කෑදරකමේ ඇමති ධූරයක් භාරගත්තා කියා. ඒ අයත් එක්ක ඉන්නකල් රත්තරං, වෙනත් අය එක්ක ඉන්නවනම් තබක්ක. යූ.එන්.පී. මන්ත්‍රීවරයෙක් එන්න හදනවා කියලා කියනවා. තමන්ගේ කණ්ඩායම රැකගන්න බැරුව වෙන පක්ෂවල මන්ත්‍රීවරුන් කොහොමද ගන්නේ?   “

“ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර නායකයා එස් එම් චන්ද්‍රසේන පසුගිය දා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා කියා සිටියේ සතියක් තුළ ඒකාබද්ධ කණ්ඩායම මහඇමති කම අරගෙන පෙන්වනවා කියා. දැන් ඊයේ අත්සන් 17 ක් සහිත ලේඛනයක් භාර දුන්නා කියා මාධ්‍යයට ප්‍රකාශ කළා. අත්සන් 17 ක ලේඛනය ආණ්ඩුකාර වරයාට භාරදීමට ගිහින් හිටියේ 06 දෙනෙකු පමණයි “යැයි ඒ මහතා පවසයි.