උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් යුද හමුදා කඳවුරු වෙතත් ස්ථානවලට ගෙනයෑමේ වියදම් වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි දහයක මුදලක් අනුමත කරවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද  (7) ඉදිරිපත් කෙරිණ.

යුද හමුදාව සඳහා මෙම මුදල් වෙන් කෙරේ.

මෙයට අමතරව සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය වැඩි දියුණු කිරීම හා පහසුකම් සැපයීම සඳහා රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක් ද ආරක්‍ෂක අමාත්‍යංශයට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ දෙලක්‍ෂ පනස් දහසක් ද අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරිණ.

ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙයට අමතරව මුස්ලිම් දේවස්ථාන හරහා මුස්ලිම් ජනතාවට රටඉඳි සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට රුපියල් දොළොස් කෝටි දස ලක්‍ෂයක මුදලක් ද භූමි කම්පාවෙන් හානියට පත්වූ නේපාලයේ පූජනීය ස්ථාන නවීකරණය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයට රුපියල් දස කෝටි පනස් ලක්‍ෂයක මුදලක් ද සුවසැරිය ගිලන් රථ සේවය ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි 33 කට ආසන්න මුදලක් ද පාසල් හා උසස් අධ්‍යාපන වාර ප‍්‍රවේශ පත‍්‍ර සහනාධාර හා සන්නද්ධ හමුදා සඳහා විදෙස් ගමන් බලපත‍්‍ර දීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 525 කට ආසන්න මුදලක් ද බෙල්ලන්විල විමලරතන හා ගිරාඹේ ආනන්ද නාහිමිවරුන්ගේ අවමංගල්‍ය පූජෝත්සවය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීම සඳහා දැරීමට සිදුවූ වියදම් වෙනුවෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට රුපියල් පනස් ලක්ෂයක් ද සපයන ලෙස ඉල්ලා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරිණි.