(තරිඳු ජයවර්ධන)
වැලි ජාවාරමකට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන සහ පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කරන බව කියන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශනය සිදු කරන බව ද ජයකොඩි මහතා කීවේය.
වැලි ජාවාරම සම්බන්ධයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයකු මීට පෙර වාර්තා දෙකක් යවා ඇතත් ඒ ගැන ඉහළින් පියවරක් ගෙන නැතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. විමර්ශනයේ දී ඒ සියලුම කාරණා සැලකිල්ලට ගන්නා බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම් දෙක ගැනම දිනපතා ලංකාදීපය සහ ඉරිදා ලංකාදීපය පසුගිය මාසයේ වාර්තා කළේය. මෙම සිදුවීම් වාර්තා කිරීමෙන් පසු මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයන් ගැන එම පොලිස් නිලධාරීන් දෙදෙනා සොයා තිබේ. එලෙස සොයා බැලුවත් තොරතුරු ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට ඉඩ නොතබන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

