උතුරට සංහිඳියාවේ නාලිකාවක්


(ඩයනා උදයංගනී)

උතුරු නැගෙනහිර පළාත් ජනතාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ ‘සංහිඳියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද මේ වනවිට ලබා දී ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 

නව නාලිකාවට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ද මේ වන විට ඇණවුම් කර ඇති අතර මැදිරි සංකීර්ණය ඉදිකිරීම සඳහා යාපනය දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් යාපනය, මීසාලෛ වීරසිංහම් මධ්‍ය විද්‍යාලයට අයත් ඉඩමෙන් පර්චස් 100ක ප‍්‍රමාණයක් වෙන් කර දී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දෙවැනි නාලිකාව ලෙස 2000 වසරේදී ආරම්භ කළ අයි නාලිකාවෙහි වැඩි කාලයක් ක‍්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇති බැවින් උතුරු නැගෙනහිර දෙමළ බස කතාකරන ජනතාව සඳහා වෙන්වූ නාලිකාවක අවශ්‍යතාවයක් ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

ජාතික සංහිඳියාව ගොඩනැගීමේදී ද මෙවැනි නාලිකාවක් තිබීම වැදගත් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.