(එෆ්.අස්ලම්)
තමා පුනරුත්තාපනය කළ යුතුද යන්න තීරණය කිරීමට පෙරාතුව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා උතුරට පැමිණ සැබෑ තත්ත්වය සොයා බැලිය යුතු බවත්, පුනරුත්තාපනය කළයුත්තේ කාවද යන්න එවිට ජනතාව පවසනු ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන්කළේය.
විග්නේෂ්වරන් , සිවාජිලිංගම්,විජයකලා යන අය විශ්වමඩු කදවුරට යවා පුනරුත්තාපනය කළයුතු බවට රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
‘‘මම සිංහල චිත්‍රපට සා සම්බන්ධ බොහෝ අය ආශ්‍රය කරපු කෙනෙක්.රංජන් මම ඒ පැත්තෙන් හඳුනන්නෙ නැහැ.එහෙත් ඔහු භාවාත්මක චරිතයක් කියල මම දන්නවා.මම කතා කරන කියන දේවල් ගැන පුවත්පත් වලින් දැකලා විවේචනය කරනවා.
මං ආසයි රංජන් මේව සියැසින් දැකල ඇත්ත තේරුම් අරන්ම ඒ ගැන කතා කරනවා නම්. අපව පුනරුත්තාපනය කළ යුතුයිද නැතිද කියල තීරණය කරන්නට රංජන් රාමනායක අමාත්‍යවරයට උතුරට පැමිණෙන්න කියා ගෞරවයෙන් සහ මහත් ආදරයෙන් ඇරයුම් කර සිටිනවා.
අපගේ ජනතාවට නිසි ආරක්ෂාවක් නැහැ. අපට බලතල නැහැ.අපගේ අදහස් වලට දකුණෙන් ඉඩක් නැහැ.අපට ගෞරවයක් නැහැ.අපව ප්‍රතික්ෂේප කරනවා.අපගේ අවශ්‍යතා ඉටුකරලන්න රංජන් අමාත්‍යවරයා මූලිකත්වය ගත යුතුයි.අපට නැති දේවල් ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් ඉටුකරල දුන්නොත් අපත් ඔහු කෙරෙහි ආදරය සහ ගෞරවය දක්වනවා. උතුරේ වත්මන් තත්වය ඇවිත් බලල යන්න කියල මම නැවතත් රංජන් රාමනායකට ඇරයුම් කර සිටිනවා.
උතුරට ඇවිත් හමුදාවෙන් හෝ පොලිසියෙන් හෝ තම පාක්ෂිකයින්ගෙන් තත්වය ගැන අහල වැඩක් නැහැ.මහජනතාවගෙන් ඔවුන් සිටින තත්වය ගැන අහන්න ඕනෑ.එවිට ඔවුන් පවසයි කාවද පුනරුත්තාපනය කළ යුත්තේ කියලා.‘‘

