(මනෝප‍්‍රිය ගුණසේකර)
ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට ගුවන් යානයේ අසුන්ගෙන සිටියදී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඉන් පිටතට වැඩම කිරීමට සිදුවුයේ අධිකරණයේ හෝ අන්කිසිවකුගේ වරදක් හෝ අතපසුවීමක් නිසා නොවන බවත් එවැනි තත්ත්වයක් සිදුවුයේ උන්වහන්සේගේ පාර්ශ්වයෙන් සිදුවු අතපසුවීමක් නිසා බවත් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ අද (31) හෙළි විය.
ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා එංගලන්තයට වැඩම කිරීම සඳහා උන්වහන්සේට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ගැනීමට අවසර ලබා ගැනීම සඳහා උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව හෙළි විය.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝෂමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණ අමතමින් විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මීට පෙර අවස්ථාවකදීත් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබ ඒ සඳහා අවසර දුන් බව පැවසීය.
එලෙස ලබාගත් අවසරය මත උන්වහන්සේ විදේශ ගතවීමට ගොස් ඇතිවූ තත්වයක් මත යම් යම් මාධ්‍ය, සමාජ ජාලා වෙබ් අඩවි හා සමහර පුද්ගලයින් අධිකරණයට හා පැමිණිල්ලට අදාළ නිලධාරීන් දෝෂ දර්ශණයට ලක් කළේ යැයි කී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා නමුත් මෙහිදී අධිකරණයට හෝ පැමිණිලි පාර්ශ්වය කිසිඳු වරදක් සිදුකොට නැතැයි පෙන්වා දුන්නේය.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරන ලද ඉල්ලීමකට අනුව උන්වහන්සේට අගෝස්තු මස 25 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා විදේශගත වීමට අවසර දී ඇතැයි පෙන්වා දුන් ජනක බණ්ඩාර මහතා නමුත් ඊට පෙර උන්වහන්සේ විදේශගත වීමට උත්සහ කිරීම නිසා අදාළ බලධාරීන් උන්වහන්සේ හරවා එවීමට පියවර ගෙන ඇති බවත් එය එම නිලධාරීන්ගේ වරදක් නිසා සිදුවුවක් නොවේ යැයිද කීය.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් අදාළ සිද්ධියේදී අධිකරණයේ කිසිදු වරදක් නොමැති බවත් තම පාර්ශ්වයෙන් සිදුවු අතපසුවීමක් නිසා එය සිදුවු බවත් කෙසේ නමුත් සිදුවු සිද්ධියට අධිකරණයෙන් සමාව ඇයැද සිටින බවත් පැවසීය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරයා මීට පෙර අවස්ථා විස්සකදී පමණ කරන ලද මෙවැනි ඉල්ලීම් වලට අධිකරණය නියෝග ලබාදී ඇති හෙයින් මෙම නියෝගය තමන්ට කටපාඩම් යැයි පැවසීය.
තමන් මෙන්ම රජයේ නීතීඥවරයාද රජයේ සේවකයින් බවත් තමන් කරන්නේ රාජකාරියක් බවත් පැවසු විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා තමන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව මීට පෙර අවස්ථාවකදී අගොස්තු 25 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා විදේශ ගතවීමට අවසර දී ඇති බවද පෙන්වා දුන්නේය.