(මනෝප‍්‍රිය ගුණසේකර)
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (31) අවසර දුන්නේය.
ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට එංගලන්තයෙන් ආරාධනා ලැබී ඇති හෙයින් ඒ සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි උන්වහන්සේගේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
ඒ අනුව අද සිට (31) ලබන සැප්තැම්බර් 10 වැනි දා තෙක් එංගලන්තයේ ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කිරීමට විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවසර දුන්නේය.
2015 ජනවාරි 28 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ දී ලියාපදිංචි නොකළ හා බලපත‍්‍ර නොමැති අලියකු තම බාරයේ තබාගෙන සිටි බවද, ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව දන්මින්ම හා ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියකු වංචනිකව තම සන්තකයේ තබා ගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට ආරාධනා ලැබී ඇති හෙයින් ඒ සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
උඩුවේ ධම්මාලෝක හිමියන් ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කරන බව දැනුම් දීම නිසා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
තමන් සිදු කරන්නේ පාර්ලිමෙන්තුවෙන් පනවා දුන් නීතීය ක‍්‍රියාත්මක කිරීම පමණකැයිද සෙසු අය ඒ තත්වය තේරුම් ගතයුතු යැයිද පැවසු මහාධිකරණ විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදේශගතවීම තහනම් කරමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කළේය.
ඒ බව ආගමන විගමන පාලකවරයා, රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා, කටුනායක හා මත්තල ගුවන් තොටුපළ බලධාරීන්ට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා අවශ්‍ය නම් ගාස්තු ගෙවීමෙන් පසුව මෙම නියෝගය අදාළ නිළධාරීන්ට ෆැක්ස් මඟින් දැනුම් දීමටද නියම කළේය.
මෙම නඩුව ලබන සැප්තැම්බර් 26 වැනිදා යළි කැඳවීමට නියම කළ විනුසරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.

