උඩවලවේ කැළයක දඩමස් කිලෝ 122 ක් - මුව අංතට්ටු - තුවක්කු


 

(රෝහණ සමරවීර)

උඩවලව ජාතික වනෝද්‍යාන බල ප්‍රදේශයට අයත් තිඹිරියමංකඩ  ප්‍රදේශයේ කැළැයක තිබී දඩමස් කිලෝ 122 ක්, මුවන්ගේ අංතට්ටු කීපයක්, තුවක්කු තුනක්, වෙඩි බෙහෙත්, ඊයම් බෝල, අහස් වෙඩි විශාල ප්‍රමාණයක්, ලණු කඹ, බණ්ඩි කියතක්, හැළිවලං ඇතුළු භාණ්ඩ තොගයක් තම බාරයට ගත් බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි.

වනජීවී නිලධාරීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ භටයන් එක්ව දඩයක්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එම මෙහෙයුමේ දී වනෝද්‍යානයේ ජීවත්වන වනසතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි තවත් පුද්ගලයකු එම අවස්ථාවේ පලා ගිය බව වනජීවි නිලධාරීන් පවසයි.

පලාගිය සැකකරු මෙහෙයුම සිදුකළ නිලධාරීන් විසින් හදුනාගෙන තිබේ. එම පුද්ගලයා උඩවලව කොවුල්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පලා ගිය සැකකරු සොයා පරීක්‍ෂණ සිදු කරන බව වනජීවී නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු කොලොන්න ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පස් දරු පියෙකි. එම සැකකරුට වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු සතුන් දඩයම් කිරීම, වනසතුන් වෙඩි තබා මරා එම මස් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක් බවත් මේ වනවිටත් එවැනි චෝදනා යටතේ ඇඹිලිපිටිය අධිකරණයේ එම සැකකරුට නඩු විභාග වෙමින් පවතින බවද වනජීවි නිලධාරීන් පැවැසූහ.