උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට


(ප්‍රසාද් රුක්මල් )

ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබු මහනුවර බදුල්ල අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (18) රාත්‍රි සිට සාමාන්‍ය පරිදි ධාවනය කැරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි .

මහනුවර බදුල්ල භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ට්යක් අද (18) පස්වරුවේ ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ.

මෙනිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 පොඩිමැණිකේ දුම්රිය, අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , අංක 1596 දරන මහනුවර දක්වා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙන්ම කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ , පොඩිමැණිකේ , විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ,මහනුවර බදුල්ල අංක 1027 විශේෂ සංචාරක දුම්රිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රමාදවී දැනට ධාවනය වන බවත් දුම්රිය බළධාරින් පැවසුහ .

මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (18) අලුයම .5.55ට පිටත් වු අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය කොටගල දී එන්ජිමක ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අතරමග ඇණහිට තිබූ බවත් වෙනත් දුම්රිය එන්ජිමක් ආධාරයෙන් එම දුම්රිය පට්ටිපොළ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර මීට සුලු මොහොතකට පෙර යලි එම දුම්රිය ආපදාවට ලක්වීම නිසාවෙන් පිළිසකර කිරිමට  නානුඔය දුම්රිය ස්ථානය කරා ආපසු ධාවනය කරවු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .