උඩරට දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරේ


විනීතා එම් ගමගේ
 
බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කෙරෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.


බදුල්ල දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.


රඹුක්කන සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන අනාරක්ෂිත බවත්, ඇතැම් ස්ථාන නායයාමේ හා වෙනත් අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් භූ විද්‍යායින්ගේ මතය වී තිබේ. 


එම තත්ත්වයන්ට නිසි පිළියම් යෙදීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් බලවත් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ඔවුන් විසින් පෙන්වා දී ඇති  බව රැස්වීම අමතමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. 


එම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා අදාළ ආයතනවල පූර්ණ අධීක්ෂණය යටතේ කඳුරට දුම්රිය මාර්ගය නිසි පරිදි හා විද්‍යානුකූලව සකස් කිරීමට සැලසුම් කර ඇත.


මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ඉක්මණින් එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.


පාර්ලිමේන්තු මන්ති‍්‍ර චමින්ද විජේසිරි, වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිලි ජයසේකර, බදුල්ල දිස්ති‍්‍රක් වැඩබලන ලේකම් එම්.ආර්.පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.