ඊජිප්තු වෙඩි තැබීමකින් 200ක් මරුට


කයිරෝහිදීය (රොයිටර්)

ඊජිප්තුවේ උතුරු සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක යාච්ඥාවල යෙදි සිටි පිරිසකට සටන්කාමීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමකින් 200 දෙනකු මියගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා දිනයේ යාච්ඥාවල යෙදී සිටි අල් අරිෂ්හි බිර් අල් අබේද් නගරයේ අල් රාව්දා පල්ලියට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ජිප් රථ හතරකින් පැමිණි පුද්ගලයන් පිරිසක් මෙලෙස යාච්ඥාවල යෙදී සිටි පිරිස්වලට වෙඩි තබා ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ. 

කලාපය තුළ ඇති වී තිබෙන ඉස්ලාමීය කැරැල්ල 2013 වසරේදී ඊජිප්තුවටද පැමිණි අතර එරට ආරක්ෂක අංශ වසර හතරක සිට එය පාලනයට කිරීමේ උත්සාහයක යෙදි සිටියි. සිනායි අර්ධද්වීපයේ නිරන්තරයෙන් මෙවැනි ගැටුම් පිළිබඳව වාර්තා වන අතර මෑතකාලීනව එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙම ප්‍රහාරයයි. 

පල්ලිය තුළ ද දරුණු ලෙස තුවාල ලැබූ පිරිස් සිටින බවත් 125කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා විය. පල්ලිය තුළ යාච්ඥාවල නිරතව ඇත්තේ ආරක්ෂක අංශවලට හිතවත් පිරිසක් යැයි තවදුරටත් වාර්තා විය. මෙම පල්ලියට යාච්ඥාවලට පැමිණෙන්නේ ඉස්ලාමීය ගූඪවාදයක් වන සුෆී දහම අදහන්නන් යැයි ද පැවසේ. 

අයි.එස් සංවිධානය ඇතුළු ජිහාද් සංවිධාන සුෆීදහම මිථ්‍යාදෘෂ්ටික ඇදහීම් යැයි චෝදනා කරයි. 

ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී ආරක්ෂක ප්‍රධානීන් හමු වී මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි එරට පෞද්ගලික නාලිකාවක් වන ‘එක්ස්ට්‍රා නිව්ස් ටී.වී’ වාර්තා කර තිබිණි.

මෙම ප්‍රහාරයට දියත් කරන ලද්දේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර ජිහාද් සටන්කාමීන් දිගින් දිගටම පසුගිය කාලයේදී ප්‍රහාර දියත් කරන ලදි. ඊජිප්තු හමුදාව 2013 වසරේ ජනාධිපති මොහම්මෙද් මොර්සි බලයෙන් පහ කිරීමත් සමඟ එම ප්‍රහාර රැල්ල තවත් වැඩිවිය. පසුගිය වසර හතරක කාලයේදී සටන්කාමීන් දියත් කරන ලද ප්‍රහාරවලින් පොලිසිය ද ඇතුළුව ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් සිය ගණනකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. සිනායි පළාතේ බොහෝ ප්‍රහාර දියත් කරන ලද්දේ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම්ය. 

055