රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග
පුරාවස්තු කැණීමකට අනුබල දීමේ චෝදනාව යටතේ වව්නියාව ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අද (19) අත්අඩංගුවට ගත් බව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා කියයි.
වවුනියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ දී වළ දමන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට ගොස් අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි වව්නියාව පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද පුළුල් පරික්ෂණයකින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 17 වැනි දා වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය වළ දමා ඇති බවට සැකකෙරුණු රත්තරන් ගොඩ ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු වව්නියාව දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැණිනි.
අදාළ සිදුවීම සිදු වූ ස්ථානයට ආසන්නයේ දැනට අත්අඩංගුවේ පසුවන මෝටර් රථයක ඊච්චන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු සිට වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විසින් හඳුනාගනු ලැබීය.
පසුව සැකකරුවන්ගේ ජංගම දුරකතනවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංක සහ පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුවන් හමුවීම යන කරුණු ඔස්සේ පරික්ෂණ ආරම්භ කළ වව්නියාව පොලිසිය විසින් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ඨාසයටත් කොස්තාපල්වරයා මන්නාරම් කොට්ඨාසයටත් ස්ථානමාරු කර යවනු ලැබුවේ පරික්ෂණ කටයුතු අවසන් වන තුරුය.
ඊච්චන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සමීපයේ තිබූ මෝටර් රථය , ජංගම දුරකතන 9ක් , සහ උදලු ඇතු පොළව හෑරීමට යොදාගන්නා උපකරණ රැසක් වව්නියාව දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

