ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාල ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම ගොනු කර තිබූ පෙත්සම මෝෂමක් මඟින් කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එසේ දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පීග කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.

මෝෂමකට අනුව අදාළ පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් ඊ-විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කීය.

විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ජාතික ප්‍රසම්පාදන කමිටුව සතියක කාලයක් ඉල්ලා ඇතැයි කී සුමති ධර්මවර්ධන මහතා ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණග් ඊශ්වරන් මහතා කරුණු දක්වමින් අදාල විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළකාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරවා ගැනීමට සිය සේවාදායකයින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.