ඉරිදා ටියුෂන් පන්ති සවස 2 දක්වා තහනම් යෝජනාව සම්මතයි


(අජන්ත කුමාර අගලකඩ)

ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති ප.ව. 2.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සම්මත කරගත් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ‘ලංකාදීප’යට පැවැසීය.

ඒ සමගම, ඉරිදා දිනවල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට වන යෝජනාවක් ද සම්මත වූ බව මහ ඇමැතිවරයා කීවේය.

තිස්තුන් වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හබරණ සිනමන් ලොජ් සංචාරක නිකේතනයේ දී පෙරේදා (06) පස්වරුවේ පැවැති අතර එහිදී මෙම යෝජනා සම්මත වූ බව ඔහු සඳහන් කළේය.

මේ අතර 2016 වසරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේ දී එකඟ වූ බවද ඔහු පැවැසීය.