ඉරාන ජාතික පිය - පුතු දෙපළක් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල)

කූට ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත්, එතැනින් ඕස්ට්‍රේලියාවටත් පලා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය - පුතු දෙපළක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

51 හැවිරිදි මෙම ඉරාන ජාතික පියා එරට මල් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින අයකු වේ.

ඔහුගේ 15 හැවිරිදි පුතා තවමත් ඉරානයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින්නෙකි.

මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ විගමන කවුළුව වෙත පැමිණ සිටියදී  ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍රවල වෙනස්කම් කීපයක් දුටු එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා මොවුන් වහාම ප්‍රධාන ආගමන විගමන නිලධාරී වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

එහිදී මෙම වීසා බලපත්‍ර ගුවන් තොටුපළ පිහිටා ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇති අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලින් පසුව වීසා බලපත්‍රයක තිබිය යුතු සියුම් තාක්ෂණික ආරක්ෂක උපක්‍රම මෙම වීසා බලපත්‍ර වල නොතිබුණු බැවින් මෙම වීසා බලපත්‍ර කූට ලෙස සකස් කළ ඒවා බව අනාවරණය විය.

තවදුරටත් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී  අපහැදිලි ගුවන් ගමන් මාර්ග සහිත ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් ද ආගමන විගමන නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවිය.

පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා මිනිස් ජාවාරමකට ලක් වූ බවට තහවුරු වීමෙන් පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දීමට කටයුතු කෙරිණි.