
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන - ඇමෙරිකා සාම සාකච්ඡා හෙට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත අතර ස්ථිර ගිවිසුමක් සඳහා වන සාම සාකච්ඡාවට ඉරානය නියෝජනය කරමින් සහභාගීවන්නේ කවුරුන්දැයි අද වනවිටත් ප්‍රසිද්ධ කර නොතිබිණි.
මීට පෙර ඉරානය, ඇමෙරිකාවට ඉදිරිපත් කළ කොන්දේසි 10 කින් යුත් යෝජනාවලිය සමග ඉරානය සාකච්ඡා මේසයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇමෙරිකානු දූත පිරිසේ නායකත්වය උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ට හිමිව තිබෙන අතර ඇමෙරිකා විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කුෂ්නර් දූත පිරිසේ අනෙකුත් සාමාජිකයන්ය.
ඉරාන දූත පිරිස නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැති වුවත් ඉරාන දූත කණ්ඩායමේ නායකත්වය එරට පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගේර් ගලිබෆ්ට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෙරට අතර සාකච්ඡාවට පදනම් වන ඉරානයේ කොන්දේසි 10 කින් යුත් යෝජනාවේ ඇමෙරිකාව අනුමත නොකරන කොන්දේසි කීපයක් ඇතුළත් වී තිබෙන බවද පැවැසෙයි.

