තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගෝස්තු 18 වැනිදා පාකිස්තාන ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට වත්මන් පාකිස්තාන හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ට ආරාධනා කර ඇතැයි ‘ඩෝන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම අගෝස්තු 11 දිනත් තවත් අවස්ථාවක අගෝස්තු 14 දිනත් පැවැත්වෙන බව මීට පෙර නිවේදනය කළ ද ‘ඩෝන්’ වාර්තාවට අනුව දිවුරුම් දීම අගෝස්තු 18 වැනිදා පැවැත්වෙන බව පැවසේ.
පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි.
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර, කපිල් දේව් සහ නව්ජොට් සිං සිදුට දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර ඇතැයි පී.ටි.අයි පක්ෂයේ සෙනට් සභික ෆයසිල් ජාවේද් පැවැසීය.
වසර 1992 දී ලෝක කුසලානයේ දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉම්රාන් ඛාන්ය. එම කණ්ඩායමේ සාමාජිකයන් වූ ජාවේඞ් මියන්ඩෑඞ්, වසීම් අක්‍රම්, රමීස් රාජා, ඉන්සමාම් උල් හක්, මුෂ්ටාක් අහ්මඞ්, මොයින් ඛාන් සහ අකීබ් ජාවේඞ් යන ක්‍රිකට් තරුවලට ද දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර ඇත.
මේ අතර පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස් අජේ බිසාරියා සිකුරාදා, එනම් ඊයේ (10) ඉම්රාන් ඛාන් හමු වූ අතර එහිදි ඔහු වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත ක්‍රිකට් පිත්තක් ඉම්රාන් ඛාන්ට තෑගි කළේය.
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එංගලන්තයේ සංචාරක නිරතව සිටින බැවින් මෙම උත්සවයට පැමිණීම පිළිබඳ තරමක සැකයක් පවතී.


