(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම ශාන්තගම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වළ දමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ඉපලෝගම පොලිසිය විසින් අද 30 සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු ද සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉපලෝගම ශාන්තගම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ තැනක අත්බෝම්බ කිහිපයක් වළ දමා ඇති බවට ඉපලෝගම පොලිස් ස්ථානාධීපතිවරයාට ලද නිර්නාමික දුරකතන ඇමතුමක් මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ අත්බෝම්බ සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ. ස්ථානාධීපතිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් අද 30 උදෑසන එම බෝම්බ සොයා ගෙන තිබිණ.
ගෙවත්තේ පොල් ගසක් මුල එම බෝම්බ වළ දමා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. විදේශීය රටක නිෂ්පාදිත එම අත්බෝම්බ දෙක ඒ.එම්.බී.වර්ගයට අයත් ඒවා බව පොලිසිය කියයි. අත්අඩංගුවටපත් සැකකරුගේ නිවසේ තිබී මින් පෙර අවස්ථාවකද කඩුවක් ද සොයා ගෙන ඇති බව ද පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ගෙවත්තේ හිමිකරුවන 72 හැවිරිදි පුද්ගලයකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඉපලෝගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක සුරංග උඩුකුඹුර මහතාගේ මෙහෙයවීම යටතේ නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුම කළහ. අත්අඩංගුවටපත් සැකකරු හෙට 31 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

