ඉපලෝගම සිද්ධියට වගකිවයුත්තන්ට විනය පියවර


නිමල කොඩිතුවක්කු
 
අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින නව උදාගමේ භූමිය සංවර්ධනය කිරීමේදී බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්දියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා කොළඹදී පැවසීය.

 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දිස්ත්‍රික් කළමණාකරුගේ සහ  කාර්මික නිලදාරියාගේ සේවය අත්හිටුවා ඇති බවත් මෙහි විමර්ශන වාර්ථා අනුව තවත් නිළධාරීන් දෙදෙනෙකුගේ   සේවය ඉදිරියේදී අත්හිටුවීමට සිදුවන බවත් සභාපතිවරයා කියා සිටියේය.
 
අදාළ නිවාස ව්‍යාපෘතිය මේ වනවිට එම භූමියෙන් ඉවත් කර සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන්  අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධය හමුවකට එක්වෙමින් එල්. එස් පලන්සූරිය මහතා සඳහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා මෙසේද කීය.
 
    ‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ සිට මේ දක්වා නිවාස ව්‍යාපෘති 709ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. 2019 වසර වනවිට එම සංඛ්‍යාව 2500 දක්වා ඉහළ දැමීමට  විෂය භාර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අපිට උපදෙස් ලබා දිලා තියෙනවා. 
 
එම නිවාස ව්‍යාපෘති ඉදිකිරිමට අවශ්‍ය ඉඩම් අප සතුව නැහැ. ඒ නිසා අදාල දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුදැනුම මත අප එම ඉඩම් රජයෙන් ලබා ගන්නවා. 
 
ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පූගොල්ලාගම ප‍්‍රදේශයේත් නිවාස 50ක ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නියමිත පටිපාටියට අනුව අක්කර 10ක භූමි ප‍්‍රදේශයක් අපි වෙන් කරවා ගත්තා. ප‍්‍රදේශිය ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති එම භූමි කොටසේ කිසිදු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් නැහැ.