ඉපදී පැය කිහිපයක් ගත වු බිළිඳියක් ළඳු කැලෑවකින් හමුවෙයි


(කාංචන කුමාර ආරියදාස)


ඉපදී  පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක්  දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන දඹුල්ල මූලික රෝහලට භාර දී තිබේ.


 අද (25 ) අලුයම 4.30 ට පමණ දඹුල්ල මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු ස්ථානයක මාර්ගය අයිනේ කුඩා වන ලැහැබක මෙම බිළිඳිය දමාගොස්  සිටියදී  සොයාගෙන තිබේ.


මෙම කුඩා දියණිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ  ප්‍රතිකාර ලබන අතර එහි   ප්‍රධාන හෙද සොයුරිය කියා සිටියේ දරුවා ඉපදී පැය කිහිපයකට පමණ කාලයක් ගත වී ඇති බවයි. එමෙන්ම ඉතාමත් හොඳ නිරෝගී තත්ත්වයෙන් මෙම දියණිය පසුවන බවද ඇය පැවසුවාය.

මෙම දරුවා මුලින්ම දුටු පිරිස කියා සිටියේ අලුයම 4.30 ට පමණ ප්‍රධාන  මාර්ගයේ  ගමන් කරමින් තිබු ලොරි රථයක්  ආපදාවකට ලක්වී  රියදුරු එම ලොරිය පරීක්ෂා කරන අවස්ථාවේදී අසළ කැලෑවකින් දරුවකුගේ කෙදිරි හඬක් ඇසී වටපිට බලන විට මෙම බිළිදා දැක  අසළ පිහිටි නිවෙසට දැනුම් දී ඇති බවයි.

 අනතුරුව මේ පිළිබඳව ගැමියන් එක්ව පොලීසියට දැනුම් දී ඇති අතර සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා  අසල්වැසියන් මහත් උත්සහයක් ගත් බව ද ඔවුහු සඳහන් කළහ.අනතුරුව පොලීසිය පැමිණිමෙන් පසු දරුවා  රෝහලට ගෙන ගොස්  තිබේ.


 දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ  මෙම   දරුවා කාගේ කවුරුන්ද යන්න මේ වන විට සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව්. කෝදාගොඩ මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත්ය.