තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි
ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන වැරදි තොරතුරු හා සංඛ්‍යාලේඛණ ප්‍රචාරය වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මේ වන විට 2510ක් වාර්තා වී ඇති බවත්, දරුවන් 14 දෙනකු සහ වැඩිහිටියකු වශයෙන් මරණ 15ක් වාර්තා වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.
ඉන්ෆ්ලුවෙන්සා පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට දී ඇතැයි අවධාරණය කළ ඇමැතිවරයා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කර දී ඇතැයි ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
මේ සඳහා එන්නතක් තිබිය දී එය ලබා නොදීම ගැන ඇමැතුම් ප්‍රශ්න කරන බව කී ඇමැතිවරයා එම එන්නත භාවිතයට සුදුසුද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ප්‍රකාශ කළේය. ඩෙංගු රෝගය උත්සන්න වූ අවස්ථාවේදී මෙවැනිම එන්නතක් ගැන කතා බහ වුවද එය නුසුදුසු බව කියමින් ලංකාවේ ලබා නුදුන් බවත්, අවසානයේ එම එන්නතින් ප්‍රතිඵලයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේදී පවා කතා බහට ලක්වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම රෝගය වැළැඳුණු ඇමැත් පුද්ගලයන් පෞද්ගලික ප්‍රතිකාර ලබා ගෙන අවසානයේ රෝහල්වලට ඇතුළු වන බව ද, මූලික අවස්ථාවේම රෝහලට ඇතුළුවුවහොත් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රතිකාර කළ හැකි බව ද ඔහු කීවේය.
රෝගීන් ප්‍රමාණය වැඩි වූයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය නම් පෞද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ප්‍රයෝජනයට ගන්නා ලෙස තමා දැනුම් දුන් බව කී ඇමැතිවරයා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරන බව අවධාරණය කළේය.