ඉන්ෆලුවෙන්සාවෙන් මිය ගිය දරුවන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට


(ජේ.කේ.එල් චාමින්ද)
  
වෛරස් උණ වැළදීමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා වැඩිවී තිබේ. ඉකුත් 30 වැනි දා රාත්‍රී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත්  මාස අටක පිරිමි දරුවෙකු මියගොස් ඇත. එම දරුවා සති හයක පමණ කාලයක් ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
 

මෙම කුඩා දරුවා වලස්ගල  ප්‍රදේශයේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කළ දරුවෙකි. 

මියගිය දරුවා නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකි. මැයි 1 වැනි දා සිට 31 වැනි දා දක්වා අතර කාලය තුළදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර  ඒකකයේ හා ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 13 දෙනෙකු  ඉන්ෆලුවන්සා ඇඩිනෝ ඇතුළු වෛරස් කිහිපයක්  හේතුවෙන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
 
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අට දෙනෙකු හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවල දරුවන් තිදෙනා බැගින් මිය ගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.