(විනීතා එම් ගමගේ)
මේ වනවිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තවත් පහළ ගොස් ඇති බැවින් එහි ලාභය, විදුලිබිල අඩු කිරීම හෝ ඉන්ධන මිල පහළ හෙලීම යන දෙකින් එක් අන්දමකින් ලබා දෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
මේ වනවිටත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහත බැස ඇති බැවින් ලංකා ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන විකිණීමෙන් විශාල ලාභයක් ලබන බව කී අමරවීර මහතා එම සමාගමට බද්දක් පැනවීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.
එසේ බදු පැනවීමෙන් මාසිකව රුපියල් බිලියන 6ක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම මුදල් කොරෝනා වයිරස ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට සහ නිරෝධායන කටයුතු සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමරවිර මහතා මේ වනවිට ඉන්ධන මිල අඩුවීමෙන් ලැබී ඇති ලාභය සියලු දෙනා අතර බෙදී යාමේ අවශ්‍යතාව මත පරිප්පු හා සැමන් මිල අඩු කලේ යැයි ද එසේ පරිප්පු හා සැමන් මිල අඩු කිරීමෙන් රජය ලබන රුපියල් කෝටි 200 ක පාඩුව ඉන්ධනවලින් ලබන ලාභයෙන් පියවා ගන්නා බව ද පැවසීය.
කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු කළහොත් කලින් කියා මිල අඩු නොකරන බවත් හදිසියේම අඩු කරන බවත් අමාත්‍යවරයා කීය.

