ඉන්ධන මිල සූත්‍රය හංගලා


(බිඟුන් මේනක ගමගේ )

 
 
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ නිලධාරින් දිගින් දිගටම පැහැර හරින්නේ යැයි එහි සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
 
රාජ්‍ය මුදල් කාරක සභාව පසුගිය ජනවාරි 25 වැනිදා වනවිට අදාළ ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්න ද එදින පැවැති කාරක සභා රැස්වීමට අඩුම තරමින් එම අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වුණේවත් නැතැයි සුමන්තිරන් මහතා චෝදනා කළේය.
 
පසුව යම් යම් ලේඛන කීපයක් කාරක සභාවට යොමු කළ ද ඒවායේ ඉන්ධන මිල සූත්‍රයක් සඳහන් නොවී යැයි කී හෙතෙම ආන්දෝලනයට තුඩු දුන් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරින්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි අවධාරණය කර කීය. 
 
රාජ්‍ය මුදල් කාරක සභාවට එසේ යොමුකර තිබූ ලේඛනවල සඳහන් වූයේ ඒ ඒ මාසවල ඉන්ධන මිල ගණන් යැයි ද ඒ අනුව කාරක සභාව නොමග යැවීමට නිලධාරින් උත්සාහ කර තිබීම කනගාටුවට කරුණක් යැයි ද සුමන්තිරන් මහතා කීවේය. 
 
ඉන්ධන මිල සූත්‍රය අනාවරණය නොකිරීම මගින් පෙනීයන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ සැබෑ දත්තවල ප්‍රශ්නයක් ඇති බව යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
 
ඒ අනුව වහාම සැබෑ ඉන්ධන මිල සූත්‍රය රාජ්‍ය මුදල් කාරක සභාවට ලබාදෙන්නැයි මුදල් අමාත්‍යංශ නිලධාරින්ට නියෝග කළේ යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරලියෙන් පසු බලයට පැමිණි ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළ බව පැවැසූ නමුත් දෙසැම්බර් 20 වැනිදා නැවත බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා එය නැවතත් ක්‍රියාත්මක යැයි පැවැසීය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)