ඉන්ධන නෞකාවේ ගින්න මැඩපවත්වයි




(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව ඉන්දීය වෙරලාරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්දීය වෙරලාරක්ෂක හා නාවික හමුදාවේ නෞකා 6ක්, ශ්‍රී ලංකා නාවික හා වෙරලාරක්ෂක නෞකා 6ක්, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 4ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා 2ක් මෙම මෙහෙයුමට දායකත්වය ලබාදී තිබේ.

ගින්න පාලනය කළපසුව එම තෙල් නෞකාව අයත් සමාගම විසින් එවා ඇති ටග් යාත්‍රාවක් මගින් මේ වනවිට තෙල් නෞකාව ඈත දියඹ මුහුදට ඇදගෙන යමින් පවතී.

නෞකාවේ ඇති බොරතෙල් මුහුදු තීරයට මිශ්‍රවීමේ අවදානමක් කිසිසේත්ම නැති බවත්, ගින්න නිවා දැමුවත් ගින්න හටගත් එන්ජින් කාමරයේ ඇති ඩීසල් අවසන් වන තෙක් දින කිහිපයක්  කළු දුමාරය පිටවන බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) ටී. ශ්‍රීපති මහතා පැවසීය.