(අංජුල මහික වීරරත්න)
කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි වන පරිදි අවම වශයෙන් දින 45 කට ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන තොගයක් පවත්වා ගෙන යාමට සැලසුම් කරනු ලැබ ඇත. එකී අවශ්‍යතාව සපුරාලීම සඳහා එම සමාගමේ කොළොන්නාව නිමාවේ ඝන මීටර 64,000ක ධාරිතාවකින් යුත් නව ටැංකි 6ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මුතුරාජවෙල පර්යන්තයේ ඝන මීටර 40,000ක ධාරිතාවයකින් යුත් නව ටැංකි 3 ක් ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ.
ඊට අමතරව, කොළොන්නාව නිමාවෙහි දැනට පවතින අංක 30 සහ 31 දරන ටැංකි පිළිවෙලින් ඝන මීටර 7,000 ක සහ ඝන මීටර 15,000 ක ධාරිතාවයෙන් යුත් නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට ද සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුම සහතික කිරීම සඳහා අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එකී කාර්යය සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් උපයෝගී කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

