(නාලක සංජීව දහනායක)
තමාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා කළ ආරාධනයක් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මන්ත්‍රීවරයා මේ තීරණය කතානායකවරයාට ඊයේ (03) එසේ ලිඛිතව දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනකු සිටින ඒකාබද්ධ විපක්‍ෂයට, විපක්‍ෂයේ අයිතිවාසිකම් නොදී මන්ත්‍රීවරුන් 16 දෙනෙක් සිටින කණ්ඩායමට විපක්‍ෂයේ අයිතිය ලබාදීම යථාර්ථය නොවන බැවින් මෙම තීරණය ගත් බවද දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇත.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඉන්දියා රජයේ ආරාධනයක් අනුව ලබන 9 වැනිදා සිට එරට සංචාරයක යෙදීමට නියමිතව ඇත.

