ඉන්දීය පිලට කඩුලූ 4 ක පහසු ජයක්


‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන් කොන්  එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පර්ත්හිදී ඊයේ (08) පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ. ලකුණු 234 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 46.4 කදී කඩුලූ හයක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දීය පිල සමත් විය. රවින්ද්‍ර ජඬේජා (නොදැවී 24) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (නොදැවී 30) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දියාව ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ගියහ. අන්තර්ජාතික ශතක 100 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවිමේ බලාපොරොත්තුවෙන් සිටින සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඊයේත් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගියේය. ලකුණු 45 ක් තුළ ප‍්‍රබලතම පිතිකරුවන් වන රෝහිත් ශර්මා (10), සුරේෂ් රයිනා (24) සහ මහේන්ද්‍ර සිං දෝනි (4) දැවී යෑමෙන් ලකුණු 167 කට කඩුලූ පහක් බවට පත්විය. විරාට් කෝලි පන්දු 94 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමෙන් ඉන්දීය පිල තරමක පසු බෑමකට ලක්විය. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල මෙහිදී කිසිඳු විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැතිව මෙම තරගයට ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නෝ පස්දෙනෙක් ක‍්‍රීඩා කළහ. ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය. මෙය 22 හැවිරිදි චන්දිමාල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය වේ. චන්දිමාල් මේ වන විට එක්දින තරග 23 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 715 ක් රැස්කර තිබේ. ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය හෙට (10) පර්ත්හිදී පැවැත්වේ.