ඉන්දීය ධීවරයන් 20 ක් නිදහස් කරන්න අවසර



 
 
 
හර්ෂණ තුෂාර සිල්වා
 
නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අත්අඩංගුවට පත් ව සිටින ඉන්දීය ධීවරයන් 20 දෙනක් නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුමැතිය දී ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
මේ අනුව නෛතික කටයුතු අවසන් වීමෙන් අනුව අත්අඩංගුවේ සිටින ධීවරයන් 20 දෙනා ඉන්දීය රජයට බාරදෙන බව ද අමාත්‍යාංශය කියයි. මේ වසරේ මෙතෙක් ගත වූ කාලයේදී නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 129 දෙනකු නාවික හමුදා අත්අඩංගුවට පත් වූ අතර ඔවුන්ගෙන් 109 දෙනකු ඉකුත් දා ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බළකායට බාර දී ඇත.     
 
ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනකු ඉන්දීය රජය ඉකුත් දිනෙක නිදහස් කළ බවත් තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය අත්අඩංගුවේ සිටින බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඔවුන්ගෙන් සිව්දෙනකු ධීවරයන් නොවන බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් බවට තොරතුරු ලැබී ඇතැයි කියයි. 
 
ඉතිරි දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවත්වෙන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.     
 
මේ අතර ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය මාසයේදී සංශෝධිත විදේශීය ධීවර යාත්‍රා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
 
ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ අතර ගැසට් කිරීම සඳහා කතානායකවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ද වාර්තා වේ.