(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමඟ අද (13) පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
අරලියගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කරලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කෙරෙන තාක්‍ෂණ හා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, උතුරේ අවතැන් වූවන් උදෙසා ඉන්දීය සහය ඇතිව ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.
උතුරේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලීම සඳහා ඉදිරිපත් වීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද මෙහිදී අනාවරණය විය.
ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන "සුවසැරිය" ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දීය විදේශ ලේකම් වරයාට ප්‍රසාදය පළකළේය.