ඉන්දියාවේ ප්‍රහාරයට පිළිතුරු දෙන්න ඉස්ලාබාද් සැරසෙයි


ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්ත කඳවුරුවලට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරුදීමේ අයිතිය ඉස්ලාමාබාද් සතුව ඇතැයි පකිස්තාන විදේශ ඇමති ෂා මෙහොමඩ් ක්රේෂි පවසයි. 
 
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව ප්‍රචණ්ඩත්වයට මුලපුරා ඇති බවයි.
 
"ඉන්දියාව විසින් අද ප්‍රථමයෙන් ප්‍රචණ්ඩත්වය  ඇරඹුවා. මෙය සීමාව උල්ලංඝණය කිරීමක්, සිය ආත්මාරක්ෂාව පතා පකිස්ථානයට මීට ප්‍රතික්‍රියා දැක්වීමේ අයිතිවාසිකම තිබෙනවා" යැයි විදේශ අමාත්‍යවරයා අද(26) විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති හදිසි රැස්වීමක් අවසානයේ මාධ්‍ය අමතමින් පැවසීය.
 
මේ අතර උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා පකිස්ථාන අගමැති ඉම්රාන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ. 
 
"ඉන්දියානු ගුවන් යානා මුසෆරාබාද් කළාපයෙන් ඇතුල් වුණා. කෙසේ වුවත් පකිස්ථාන ගුවන් හමුදාවේ ඉක්මන් හා ප්‍රබල ප්‍රතිචාර හේතුවෙන් ඔවුන්ට පලා යන්නට සිදුවුණා. ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් වාර්තා වුණේ නැහැ" යැයි පකිස්ථාන හමුදාවේ ඉහල නිලධාරියෙකු ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)