ඉන්දියාවේ උපවාස කළ ලාංකිකයන් අධිකරණයට


 තමිල්නාඩුවේ විශේෂ රැඳවුම් කඳවුරක මාරාන්තික උපවාසයක නිරතව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් අටදෙනකු තමිල්නාඩු ප‍්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

උපවාසයේ නිරතව සිටි මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇත. පසුව මොවුන් අධිකරණයට ඉදිරිපත් කොට වහා ප‍්‍රතිකාර සඳහා චෙන්නායි හි මහත්මා ගාන්ධි රෝහලට ඇතුළත් කිරීමට එම ප‍්‍රාන්ත පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මොවුන්ට එරෙහිව දිවිනසා ගැනීමට තැත් කළේ යැයි චෝදනා යටතේ තමිල්නාඩු අධිකරණයේ නඩු පැවරීමට ප‍්‍රාන්ත පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දීය අත්අඩංගුවෙන් තමන් වහා මුදා හරින්නැයි බල කරමින් මොවුහු උපවාසය ඇරැඹූහ.