ඉන්දියාවේ අඬෝවැඩියාව ගැන රජයේ අවධානය


 

යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති ඉන්දියාවේ ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා රජයද සැලකිල්ල යොමුකර තිබේ. යාපනයේ අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඉන්දියාව කරුණු ඉදිරිපත් කර ඇති බව සම-කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද තහවුරු කළේය.

“අපි මේ කාරණාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටිනව. ඒ විතරක් නෙමේ අපි ඒ ගැන විස්තරාත්මකව සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට පසුව පැවසීය.

ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් යන දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තදබල විරෝධය පළ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා වාර්තා කළේය.

ඉන්දියාවේ විරෝධතාව වූයේ එවැනි පියවරක් ගතහොත් එය ආරක්ක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකරන්නක් විය හැකි බවයි. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් වෙන් කෙරෙන පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේ මෙම දූපත් පිහිටා තිබේ. ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇත්තේ ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් මෑතිනි.

බලශක්ති ව්‍යාපෘතියේ දේශීය හවුල්කරුවා වන ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ එටෙක්වින් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා ඉඩම් හඳුනා ගැනීමෙන් ව්‍යාපෘතියට අදාළ කරුණු අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙනි.

ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ව්‍යාපෘතියක් වන මෙය චීනයේ එම්.එස්. / සිනොසාර්-එටෙක්වින් හවුල් ව්‍යාපාරයට ප්‍රදානය කර තිබේ. චීන සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම නිර්දේශ කරනු ලැබුවේ ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර කමිටුව විසිනි.

 

- ටයිම්ස් ඔන්ලයින් අනුග්‍රහයෙනි

 

සබැදි

චීනයට ටෙන්ඩරය දීම ගැන ඉන්දියාව පුප්පයි