ඉන්දියාවට පැන්න 3000ක් යළි දිවයිනට ඇවිත්


2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3000ක් යළි ලංකාවට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය අද  ප‍්‍රකාශ කළ බව ඉන්දීයාවේ ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කළේය.
 
තමිල්නාඩු මහ ඇමති කේ.පලනිස්වාමි විසින් ලාංකික සරණාගතයින් පිළිබඳ වාර්තාවක් අද තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ සභාගත කරමින් මේ බව සඳහන් කරනු ලැබ ඇත.
 
මෙයින් වැඩිම පිරිසක් යළි ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් වසරේදී වන අතර එම වසරේදී ලාංකික සරණාගතයින් 1520 ක් යළි දිවයිනට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය කියා සිටී. තවද මේ වසරේ මුල සිට පසුගිය මැයි මාසය දක්වා කාලය තුළ තවත් ලාංකිකයින් 577 දෙනෙකු ලංකාවට පැමිණි බවද සභාගත කෙරුණු ලාංකික සරණාගතයින් පිළිබඳ වාර්තාවේ දක්වා ඇත.
 
සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ලාංකිකයින් යළි මව්රටට පැමිණි තිබේ.
 
1984 වසරේ සිට 2009 දක්වා ශ්‍රී ලාංකාවේ පැවති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකික සරණාගතයින් ලක්ෂ තුනකට වැඩි පිරිසක් තමිල්නාඩුවට පලා ගිය අතර මින් බහුතරයක්ම උතුරේ සහ නැගෙනහිර පළාත් හි පදිංචිකරුවෝ වෙති.
 
මේ වන විට ඉන් ලාංකික සරණාගතයින් 61 ,422 ක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 107 ක රැඳී සිටිති. එසේම තවත් ලාංකිකයින් 35,316 කඳවුරු වලින් පිටත ජීවත් වන බවද තමිල්නාඩු රජය කියා සිටී.

125