තානාපති ධූර පුරප්පාඩුව පැවති තවත් රටවල් තුනක් සඳහා නව තානාපතිවරුන් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව, රුසියාව, සහ පිලිපීනය සඳහා නව තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිණිකොළොන්නේ මෙනවිය එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ඉන්දියාව නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතාද , රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාද , පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙකු වන අරුණි රණරාජා මහත්මිය පත්කළ බව කොළොන්නේ මෙනවිය පැවසුවාය.
රජය විසින් නම් කරනු ලැබූ මෙම නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ට උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හා එම රටවල් හි රජයන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත් නුදුරේදීම ඔවුන් අදාළ ධූරයන් හි රාජකාරී කටයුතු බාරගනු ඇති බවත් ඇය පැවසුවාය.
මීට අමතරව රටවල් කිහිපයක ශ්‍රී ලංකා කොන්සල් ධූර සඳහා නව කොන්සල් ජනරාල්වරුන් පත් කළ බව අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.
ඒ අනුව චීනයේ ග්වැන්ජොං හි කොන්සල් ජනරාල්වරයා ලෙස ශානිකා දිසානායක, ෂැංහයි හි කොන්සල් ජනරාල්වරයා ලෙස ලක්ෂිත රත්නායක , කැනඩාවේ ටොරොන්ටෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස යූ.එල්.එම්.ජවුෆර් , ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.ජේ.එස්.ප්‍රසන්න , ඉතාලියේ මිලාන් හි කොන්සල් ජනරාල්වරයා ලෙස ප්‍රදීපා සේරම් යන මහත්ම මහත්මින් පත් කරනු ලැබ සිටිති.

