(කාංචන කුමාර ආරියදාස)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණය පාර්ලිමේන්තු මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයකුට ඒ සඳහා එකඟතාවයට එළඹිය යුතු බව ද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය .
එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.
රටේ වර්තමාන තත්වය පිළිබඳවත් ගොවීන්ට සිදුව ඇති හානිය පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර නාහිමියන් බැහැදැක පිරිස් මහතා උන්වහන්සේ සමඟ කියා සිටියේ රටේ සියලු සංවර්ධන කටයුතු අතරමග නවතා රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීම සහ හොරකම් කිරීම පමණක් රජය සිදුකරගෙන යන බවයි.
මෙහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අබගස්වැව රාහුල නා හිමියන් කියා සිටියේ රට ගමන් කරන ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්න ගැටලු රැසක් තමන් වහන්සේ ද දකින බවත් බුද්ධ ශාසනයට එය විශාල වශයෙන් බලපා ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජි . සෝමතිලක යන මහත්වරු එක්ව සිටියහ.