(චමිල් රූපසිංහ)
තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුළු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවර දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීමෙන් පසුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරත විය.
අස්ගිරි මහා විහාරය හා ඊට සම්බන්ධ විහාරයන් සංවර්ධනය කිරීම සහ මතුවන ගැටලු පිළිබඳව මහා නායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
"මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර නොගන්නා බවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදුදහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය තමන් හරියාකාරව ඉටු කරනවා" බවද එහිදි පැවැසිය.


