ඉදිරි මාස කිහිපයට අතුරු සම්මත ගිණුමක්


(අජන්ත කුමාර අගලකඩ)

මේ වසරේ ඉදිරි මාස කිහිපයට මුදල් වෙන් කිරීම සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිධූර වශයෙන් කැබිනට් මණ්ඩලයට අද (19) ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී ඇත.

ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය ආවරණය වන පරිදි මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරෙන ඇත.

මේ වසරේ මුදල් මාස හතරේ වියදම් දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අතර ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි විය.

කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් මහ මැතිවරණයද කල්යාම නිසා රජයේ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරනු ලැබීය.

ඒ අනුව ඉකුත් ජුනි 1 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා රජයේ වියදම් පියවීමට ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරා ඇත.

අලුතින් අමාත්‍යාංශය පිහිටුවා ඇති නිසා විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම කල්යන බැවින් මෙසේ අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.