(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොකොට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන සහ ධීවර අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) කැකිරාවේදී පැවසීය.
කැකිරාව ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය පුද්ගලයකුට සුදුසුකම් මොනවාදැයි මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් විමසීමක් කිරීමේදී අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයෙකු වීම සඳහා ඇති එකම සුදුසුකම ජනතා කැමැත්ත බවයි. එපමණක් ජනපතිවරයකුට ප්‍රමාණවත් දැයි නැවතත් මාධ්‍යවේදීහු ප්‍රශ්න කරන්නට වූහ. ඔහු කියා සිටියේ සමාජ, ආර්ථික මෙන්ම ජාත්‍යන්තර සබඳකම් ආදී දැනුමෙන් පිරිපුන් පුද්ගලයකු වූවකු ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට සුදුසු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීම් ලඟදීම තම පක්ෂයේ සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, එතෙක් විවිධ අය තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යෑම පලක් නොවන බව හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම පසුගියදා සුළු පක්ෂ සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී එම රූපරාමු සියුම් ලෙස බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබෙන බවත් චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමට එහි කටයුතු සිදුවෙන බවක් පෙනී යන බවද ඔහු කීවේය.
විදේශ රට වලින් අපද්‍රවය ගෙන්වීම පිටුපස එජාප කිසිවකු නැති බව ද කිවේය .

