ඉදිකරමින් තිබූ බස් නැවතුම්පළක් කඩා වැටේ


(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද(14) දින පස්වරුවේ කඩාවැටීමෙන් මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත්කළ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
 
රුපියල් මිලියන 100ක මුදලක් වැයකරමින් ‘පිබිදෙමු  පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව  විසින් මෙම  බස්නැවතුම්පොළ ඉදිකරමින් තිබිණි.
 
පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් ඉදිකර මෙහි පළමු මහලේ  ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018-08- 01 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. ඉහළ මහළයේ වැඩ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. 
 
එහි ඉදිකිරීම් සිදුකරමින් සිටියදී පහළ මහලයේ එක් කොටසක් කඩා වැටීමට පටන් ගෙන ඇත. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමඟ වහාම ඉදිකිරීම් නවතා දමා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කිරීමට හිගුරක්ගොඩ පොලිසිය කටයුතු කළේය.
 
මෙම බස් නැවැතුම ඉදිකිරීම් ආරම්භ කළ දින සිට සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවත් ඒ පිළිබඳ  බලධාරීන් දැනුවත් කළද විසඳුමක් ලබා නොදුන් බවද ජනතාව පැවසූහ.