ඉතිහාසයේ හොඳම නායකයා ඉදිරි ජනපතිවරණයට - ගම්මන්පිල


(විනීතා එම් ගමගේ)


ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ රුසියාවේ වලැඞ්මියර් පුටින් දක්වන නිර්භීත භාවයත් , මැලේසියාවේ මහතීර් මොහොමඞ් දක්වන කළමණාකරනයේ සුවිශේෂී හැකියාවත් ,  සිංගප්පුරුවේ ලී ක්වාන් යූ දැක්වු  දූරදර්ශීභාවයත් යන මේ සුවිශේෂී ලක්ෂණ තුනම ඇති, ලක් ඉතිහාසයේ බිහිකළ හැකි සුවිගේෂිම ජනාධිපති අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බවට රටට පොරොන්දුවක් දෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය


එහෙත් ජනාධිපතිරවණයේ අපේක්ෂකයා තීරණ්‍ය කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු හදිස්සියක්  නැතැයි ද හෙතෙම කියා සිටියේය. 
ඊළඟ ජනාධිපතිවරණයේ දී ආප්ප න්‍යාය ක‍්‍රියාත්මක කිරීමට තම කණ්ඩායම  ද සුදානමින් සිටින බව ද මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ විට රටම පුදුම වෙන අපේක්ෂකයකු නම් කරන බව ද ගම්මන්පිල මහතා පැවැසීය.

 
උයද ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.   

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපතිවරණය 2019 ඔක්තෝබර් මාසයේ ප‍්‍රකාශයට පත් කළ යුතු බවත් ඡුන්ද කල් දාගැනීමේ උවමනාවෙන් සිටින්නන්  2020 ගැන කතා කරන බවත් ගම්මන්පිල මහතා කීය.


ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා සමග එකතුව වැඩ කිරීමට තමන්  සූදානම් බවත් තමන් සමග එකතුව වැඩ කිරීමට ඔවුන් සූදානම් බව එම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන එස් බී දිසානායක මහතා කීප වරක්ම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල බවත් කී මන්ත‍්‍රීවරයා ඔවුන් සමඟ කණ්ඩායම ශක්තිමත් කරගෙන, අනාගතයේදී  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජවිපේ සහයෙන්වත් ගොඩ නගා ගත නොහැකි තත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

 
ආණ්ඩුවෙන් තවත් හය දෙනෙක් වත් ගැනීමේ අරමුණ ද පවතින බව ඔහු කියා සිටියේය.