ඉතිරි වී සිටි අවසන් දරුවාත් බේරාගනී


මායි සායිහිදීය (ඒ.එෆ්.පී) 

දින 18ක කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටි දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදාගත් බව ‘තායි නේවි සීල්ස්’ භටයෝ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අද (10) සවස්වරුවේ සඳහන් කළහ.

“වයිල්ඩ් බෝර්ස්” කණ්ඩායමේ සියලු දෙනා මුදා ගත්තා” යැයි එම සටහනේ සඳහන්ව තිබිණි. ගල් ගුහාව තුළ සිරවී සිටි දරුවන් 12 දෙනා, එනම් “වයිල්ඞ් බෝර්ස්” කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීම සඳහා දින තුනක් මුළුල්ලේ ඉතා සංකීර්ණ සහ දුෂ්කර මෙහෙයුමක් දියත් කෙරුණි. 

දරුවන් මුදා ගත්තද ඔවුන්ගේ සහාය වෙනුවෙන් ගල් ගුහාව තුළට ගිය වෛද්‍යවරයකු ද ඇතුළු සීල් කණ්ඩායමේ කිමිදුම්කරුවන් සිවුදෙනකු තවමත් පිටතට පැමිණි බව ද ‘නේවී සීල්’ භටයන්ගේ ඔවුන්ගේ ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබිණි. 

ජූනි 23 වැනිදා උපන්දින සාදයක් සැමරීම සඳහා තම පුහුණුවීම්වලින් අනතුරුව තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණය වෙතා ගොස් තිබේ. ඔවුන් ගල් ගුහා තුළ සිටියදී ඇති වූ ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයත් පිටතට පැමිණීමට නොහැකිව දරුවෝ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගල් ගුහාව තුළ සිර වූහ. 

බි්‍රතාන්‍යය කිමිදුම්කරුවන් දෙදෙනකු මේ දරුවන් සොයාගන්නා තුරු ඔවුහු දින නවයක් අඳුරු ගල් ගුහාව තුළ ගත කළහ. දරුවන් සොයාගන්නා අවස්ථාවේදී ද ඔවුන් හොඳ ජවයකින් සිටි බව දරුවන් සොයාගත් පණිවුඩය දැනුම් දීමට පිටතට පැමිණි බි්‍රතාන්‍යය කිමිදුම්කරුවෝ දෙදෙනා කීහ.  

දරුවන් සොයාගත් අවස්ථාවේදී ඔවුන් පිටතට ගෙන ඒමට මසකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි මුලදී පැවැසුණි. දරුවන් සිටියේ ගල් ගුහාවේ මතුපිටට පැමිණීමට හැකි විවරය තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර 4ක් ඈතිනි. ඔවුන් පිටතට රැගෙන ඒමට තිබුණේද ජලය පිරුණු දුෂ්කර පටු වංකගිරියක් වැනි උමං මාර්ග සමූහයකනි.

ඔවුන් මුදා ගැනීම සඳහා සැලසුම් සැකසීමේදී බලධාරීහු අර්බුද රැසකට මුහුණ දුන්හ. මෝසම් වැසි අවසන් වනතුරු සිටිනවාද නැතිනම් ඊට පෙර සිදුරක් සාදනවද යනුවෙන් අදහස් කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි. මෝසම් වැසි අවසන් වීමට බොහෝ කාලයක් සිටීමට සිදුවනු ඇති නිසා වැසි අවසන් වනතෙක් සිටීමේ විසඳුම අත්හැර දැමිණි. තායි බලධාරීන් විසඳුම් සොයන අතරවාරයේදී කාලයත් දරුවන් සිටින ස්ථානයේ ඔක්සිජන් ප්‍රතිශතයත් අඩුවෙමින් තිබිණි. ඒ අතරවාරයේදී මෝසම් වැසි ද ඇද හැලෙන්නට වූ අතර ඒ හේතුවෙන් ගුහාව තුළ ජල මට්ටම් ද වැඩි වෙමින් තිබිණි. එවැනි අවදානම් තත්ත්වයක් තුළ තිබෙන දරුණුම සහ වැඩිම අවදානමක් සහිත විකල්පය තෝරාගැනීමට බලධාරීහු ඇතුළු පිරිස් තීරණය කළහ. 

ඒ අනුව දරුවන් සිටින ස්ථානයට කිමිදුම්කරුවන් යැවීමට බලධාරීහු තීරණය කළහ. ඒ අනුව විශේෂඥ කිමිදුම්කරුවන් ද ඇතුළු කිමිදුම්කරුවෝ 90ක් මෙම දැවන්ත හා සංකීර්ණ මෙහෙයුමට එක්වූහ. ඔවුන්ගෙන් 50 දෙනෙක් විදේශීය කිමිදුම්කරුවෝ වූහ. කිමිදුම්කරුවන්ට අමතරව තායිලන්ත හා ජාත්‍යන්තර පිරිස්වලින් සැඳුම්ලත් දැවැන්ත මුදා ගැනීමේ කණ්ඩායමක් ද දරුවන් බේරාගැනීමේ කටයුත්තට සම්බන්ධ වී සිටියහ. 

කිමිදෙමින් දරුවන් සිටින ස්ථානයට යෑමත් දරුවන් ඉන් රැගෙන ඒමත් අත්දැකීම් බහුල විශේෂඥ කිමිදුම්කරුවන්ට ද අභියෝගයක් විය. දරුවන්ට ද කිමිදීම සම්බන්ධයෙන් අත්දැකීමක් නොතිබූ හෙයින් ජලය යටදී ඔක්සිජන් ටැංකි ආධාරයෙන් හුස්ම ගැනීම සහ කිමිදීම සඳහා ආධාර කරගන්නා අනෙකුත් උපකරණ භාවිත කිරීම පිළිබඳව යම් අවබෝධයක් දීමට  සිදුවූ බව ද වාර්තා විය.  

කිමිදුම්කරුවන් දරුවන් බේරාගෙන පැමිණෙද්දී ජලය යටදී දරුවන් බිය වනු ඇත්දැයි සැකයක් ද මතුවිය. මෙහෙයුම්වලට එක්ව සිටි තායිලන්තයේ හිටපු ‘නේවි සීල්’ භටයකු මෙන්ම කිමිදුම්කරුවකු වන සමාන් ගුනාන් ඔක්සිජන් ප්‍රමාණවත් නොවී මිය යෑමත් සමඟ බලධාරීන්ගේ බියත් මුදා ගැනීමේ මෙහෙයුමේ අවදානමත් තීව්‍ර විය. 

එසේ තිබියදී ඉරිදා (8) දැවැන්ත ගෝලීය අවධානයක් දිනාගත් මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණි. ලොව වැඩි අවධානයක් දිනාගෙන තිබූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මධ්‍යයේ වුවද මෙම මෙහෙයුම කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ලොව පුරා අති විශාල පිරිසක් නෙත් යොමා සිටියහ.

දරුවන් මුදාගත් විගසම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුදාගැනීමට මෙහෙයුමට එක්වූ පිරිස්වලට කෘතඥ වෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. පාපන්දු පිටියේ ප්‍රබලයකු වෙන ලයනල් මෙසී ඇතුළු පාපන්දු ක්‍රීඩකයන් ද මුදාගැනීමේ මෙහෙයුම්වලට දායක වූ පිරිස්වලට මෙන්ම දරුවන්ට ද සහයෝගය පළ කර තිබිණි. එපමණක් නොව තාක්ෂණික ලෝකයේ ප්‍රබලයකු වන ඊලෝන් මස්ක් ද මෙම දැවැන්ත මෙහෙයුමට තම දායකත්වය සැපයීය. 

ගුහාව තුළ සිර වී සිටි අවසන් දරුවත් පුහුණුකරුත් මුදා ගත් බව අනාවරණය වූ විගස තායි වැසියන් මෙන්ම මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අවධානයෙන් ලෝ පුරා ජනතාව ප්‍රීතියටත් උද්දාමයටත් පත්වූහ. 

(055)