ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට


කොරෝනා වයිරසය හේතුවෙන් අද (18) දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 475ක් වාර්තා වූයේ යැයි එරට බලධාරීහු කියති.  

ඒ අනුව අද වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ 2,978ක් දක්වා ඉහළ ගිය අතර එරට සමස්ත ආසාදිතයන්ගේ පිරිස 35,713ක් දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඕනෑම රටකින් එක් දින වාර්තා වූ ඉහළම මරණ ගණන මෙය වේ.

මීට පෙර එක් දිනක් තුළ ඉතාලියෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ 15 වැනිදා ඉරිදා වන අතර එය 368කි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්ගත් කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 160කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 10 වනවිට නිකුත් වී තිබු සංඛ්‍යා දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් ලොව පුරා මියගිය සම්පූර්ණ ගණන 8,724ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත පිරිස 211,853ක් ලෙස දැක්වුණු අතර වයිරසය ආසාදනය වී සුව පිරිස 83,188ක් ලෙස දැක්විණි.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා පියවර ගත්තේය.

රෝමයේදීය (ඒ.එෆ්.පී.)

055