ඉඩම් අංශ ගැන ජනතාවගේ පැහැදීමක් නෑ - ජනපති


ක.ග කරුණාරත්න
 
ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ  රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

 
දුප්පත් ජනතාවගේ ඉඩමක් පිළිබඳව ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය මිනිසුන්ට ඉටුවිය යුතු යැයි ද ,  එහෙත් එය ඉටු වන්නේ රුපියල් ශත වලට , වෙනත් සම්පත් ලබාගෙන , වෙනත් දූෂිත ආකාරයෙන් සහ අවිනීත ආකාරයෙන් නම් රජයක් විදිහට මොන ප්‍රතිපත්ති හැදුවත් පලක් නැතැයි ද කීය.
 
ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන මෙතෙක් ඉඩම් ඔප්පු නොමැති පවුල් 1000 කට ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් අද (30) පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ සී.පී.ද සිල්වා අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.
 
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඉඩම් රාජ්‍ය ඇමැති ටීබී ඒකනායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය