නයිජීරියාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු ලාංකික ඉංජිනේරුවා බේරා ගත් ආකාරය ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකියයි.
ඔහු බේරා ගැනීමට ඔහු සේවය කළ ඉතාලි සමාගම මුල් වූ බව තානාපති ආරංචි පවසයි.
දැනගන්නට ඇති විදියට කප්පමේ කොටසක් හෝ දෙන්නට ඇතැයි ද, ඉතාලි සමාගම ඔහු මුදා ගැනීමට වෙහෙසී ඇතැයි ද කියති.
කරුණාදාස නම් ඉංජිනේරුවරයා පසුගිය 18 වැනි දා පැහැර ගැනුණේ ඉතාලි සමාගමේ නයිජීරියා වැඩ බිමට යන අතර තුරේය. ඔහුගේ ආරක්ෂාවට සිටි නයිජීරියා පොලිස් භටයා වෙඩි තබා මරා ඔහුගේ රියදුරාට ද වෙඩි තබා ඔහු පැහැරගෙන ගොස් මහා කැළයේ රඳවාගෙන සිටි බව කියති.
රඳවා ගත් දවසේ සිට නිතරම වේයන්ගොඩ ඔහුගේ බිරියට දුරකතනයෙන් කතා කළ නමුත් පසුගිය දින කිහිපයේ ඔහු දුරකතනයෙන් කතා නොකළ බව ද දැනගන්නට ඇත.
නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ එල් රත්නපාල මහතා ද මොහු බේරා ගැනීමට මහ මෙහෙවරක් කළ බව නයිජීරියා ආරංචි කියයි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද බදාදා (27) ඉංජිනේරුවා මුදාහැර ඇති බව පැවසීය.
නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන කරුණාදාස මහතාගේ ඥාතීන්ට දැනුම් දුන් බවද අජිත් පී. පෙරේරා මහතා කීවේය.

