ඇස්බැස්ටස් තහනම කල් යයි


අජන්ත කුමාර අගලකඩ
 
ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
 
ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
 
රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ.