ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාද වන ලකුණු


(තිළිණි ද සිල්වා )

ඉන්දීය රජයේ "වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා "වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.

එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ පවතින තත්ත්වයත් සමඟ එන්නත් අවශ්‍යතාව ඉහළ යාම මීට හේතු වී ඇති බව ඉන්දියාවේ "හින්දු" පුවත්පත වාර්තා කළේය.

දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමඟ දේශීය එන්නත් අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදානයන් හා මිලදී ගැනීම් ලෙස රටවල් විසින් ඉල්ලුම් කළ කොවිඩ් මර්දන එන්නත් තොග ද අපනයනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.

මේ අතර මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්හි ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු තවමත් සිදුකෙරේ.