ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට


(මනෝප්‍රිය ගුණසේකර)
“ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට අද (11) තීරණය කළාය.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට  ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.

අල්ලස් කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවටත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවටත් විත්තියේ නීතීඥවරුන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබු අතර ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සහ “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියහ. විත්තියේ මුලික විරෝධතාවය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත අවසරයක් ලබාදෙමින් අත්සන් කිරීම පරිපාලනමය කටයුත්තක් බවත් ඒ සඳහා කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන් අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පෙන්වා දුන්නාය.

ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවටත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවටත් විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කරන බව සිය තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරිය මෙම නඩුව විභාග කිරීමට තීරණය කළාය.
 
මෙම නඩුව ලබන මාර්තු 13 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.
 
 විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.