ඇවන්ට්ගාඩ් නඩුව ජූලි 25 දාට කල්යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ලබන ජුලි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා  අද (26)  නියම කළේය.


මෙම නඩුව ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා හෘද සැත්කමකට ලක් කොට ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් නඩුව කැඳවීමට කියම කළ විනිසුරුවරයා එදින විත්තිකරුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.


ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටි අතර විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.


එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුලි මස 25 වැනිදා කැඳවීමට නියම කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.


විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.