ඇවන්ට් ගාඩ් සභාපති ඇතුළු 8 දෙනා අත්අඩංගුවට ගන්න නියෝග


(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති,  ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (5) නියම කළේය.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳව ලබන සඳුදාට (8) පෙර තමාට දැනුම් දෙන ලෙසද නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට වැඩිදුරටත් නියම කෙරිණි.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇති නීතීපතිවරයා ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇතුළු 8 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු නීතීමය බාධාවක් නොමැති බවද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ‍්‍රාමික කොමදොරු  විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්ද්‍ර, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න සහ ‘රක්නා ලංකා’ හිටපු සභාපති වික්ටර් සමරවීර නමැත්තන්ය.

‘ඉන්දි ඇවන්ට්ලාර්ඞ්’ නෞකාව ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ වශයෙන් පවත්වාගෙන ගිය බවත් එම නෞකාවේ තිබී විවිධ වර්ගවල ස්වයංකීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ 2,00,945 ක් සොයා ගෙන තිබු බවත් හෙළි වී තිබිණි.

එම තත්වය යටතේ අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ කටයුතු කර ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා  වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.